Monday, April 8, 2013

පිය පදවිය




අපි දෙන්නාගෙ තනි නොතනිය මකන්නට
පුතුවෙක් ඇවිත් බව කී විට අම්ම මට
හදවත පුරා ගලමින් සෙනෙහස් සුවද
දැනුනා සතුට කියනට බැරි තරමටම



පුතු කුස දරා ඈ අපමණ දුක් වින්දා
නුඹෙ කිරි සිහිනෙ පන දෙවනිව අපි රැක්කා
පුතු මුව දකින තෙක් නිරතුරු දින ගැන්නා
දිවියම අලුත්වූ ලෙසකට මට දැනුනා

පිය පදවිය ලැබූ මුත් මා කිරුලු දරා
ඈ ගොස් සුර ලොවට පුතු මා සුරතෙ තබා
පොඩි පුතු අඩන විට මව් උනුසුම නොලබා
මිය යාවිදෝ සිතෙනව ලය දෙකඩ වෙලා

පුතු කිරි සුවද ඉවකරනා විට ළංවී
හිතෙනව මියෙන්නට මොහොතක් තව නොරැදී
එනමුත් පුතුගෙ මුව දෙස බලනා විටදී
ජීවත් වෙන්න දිරිගමි නුඹ නිසා යලී

හැඩි දැඩි උරහිසේ සුව නිදි නොදැනේද
දරු නැලවිලි මිහිරිවට පුත නොඇසේද
සිහිනෙන් ඇවිත් අම්මා කිරි පෙව්වාද
සුර කුමරියෝ දරු නැලවිලි කීවාද

අම්මා නැති පුතුට අඩුවක් නොකෙරූවත්
මව් නැති අඩුව පුරවනු බෑ කවදාවත්
හිත රැදි ගින්න අඩු වෙන්නට මොහොතක්වත්
කිරි කැටි පුතුනි එක සැරයක් හිනැහීය

1 comment: